ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය: ආබාධිත ජනතාව ඡන්දය භාවිතා කිරීමට සැබවින්ම දිරිමත් කරන්නක් ද?

නීතීඥ සුපුන් ජයවර්ධන

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය : ආබාධිත ජනතාව ඡන්දය භාවිතා කිරීමට සැබවින්ම දිරිමත් කරන්නක් ද?, අසල්වැසි ඉන්දියාව සමඟ කෙරෙන සසඳා බැලීමක්.

පහත උපකල්පිත  සිදුවීම දෙස මොහොතක්  බලන්න.

උපතින් ම දෘශ්‍යාබාධිත පුද්ගලයෙකුවන සුරංග එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමා වෙනුවෙන් චන්දය සලකුණු කිරීමට සිය සහෝදරයා වන චානක කැටිව යාමට අදහස් කරයි. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත පිරවීමට සුරංගට චානක සමඟින් මුලින් ම ග්‍රාම නිලධාරී මහතා හමුවීමට සිදුවන අතර, ඒ වෙනුවෙන් ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත යාමට සහ ඒමට පැය එක හමාරක කාලයක් සහ රුපියල් 300ක ත්‍රීරෝද රථ ගාස්තුවක් වැය කිරීමට සිදුවිය.

ග්‍රාම නිලධාරී සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව සිය ආබාධිත බාවය තහවුරු කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් විය යුතු බවට නීතියෙන් දක්වන හෙයින් සුරංග චානක ද සමඟ ලඟ ම පිහිටි රජයේ රෝහලට ගොස් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී සිය අයදුම්පත අනුමත කර ගනී. මේ සඳහා යාමට, ඒමට සහ රෝහලේ රැන්දී සිටීමට පැය 4ක කාලයක් ගත කිරීමට ඔවුන්ට සිදු වූ අතර ගමනට වැය වූ  ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 600කි. ඊට අමතරව, මේ සියල්ල වෙනුවෙන් චානකට සිය රැකියා ආයතනයෙන් දිනක නිවාඩුවක් ලබා ගැනීමට ද සිදුව තිබිණි.

2011 ජන සංගණනයට අනුව මෙරට සමස්ත ජන ගහනයෙන් සියයට 8.7ක් කිසියම් ආබාධිත තත්වයකින් පසුවන බවට හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකවන ඡන්දය අතින් සලකුණු කිරීමේ ක්‍රමවේධය හේතුවෙන් මෙකී ආබාධිත ප්‍රජාව අතුරින් සැලකිය යුතු ප්‍රතිශතයකට ඡන්දය භාවිතා කිරීමේ දී තවත් පුද්ගලයෙකුගේ සහය අවශ්‍ය වේ. මේ තත්වය සැලකිල්ලට ගනිමින් 2011  අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත පැනවූ අතර, ඒ මඟින් කිසියම් ශාරීරික ආබාධයක් හේතුවෙන් තමාගේ ඡන්දය තමා විසින් ම සලකුණු කල නොහැකි ඡන්ද දායකයින්ට:

  • තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීම පිණිස වෙනත් තැනැත්තෙකු කැටිව යාමට හෝ
  • ඒ සඳහා ඡන්දපල ස්තානාදිපති තුමා / තුමියගේ සහය ලබාගැනීමට

අවස්ථාව ලබා දී තිබේ. නිදහස් හා සාදාරන මැතිවරනයක් පැවැත්වීම යන මැතිවරණ නීතියේ මූලික මූලදර්මයට යටත්ව ඉහත ප්‍රතිපාදනවල ප්‍රායෝගිකත්වය සලකා බලන මෙම ලිපිය:

  •  ආබාධ සහිත ඡන්ද දායකයන්ට ලබා දෙන පහසුකම් කරුණු දෙකකට පමණක් සීමා වීම, සහ
  • එම සීමිත පහසුකම් ලබා ගැනීමට පවා ඉතා දුෂ්කර කාර්යපටිපාටියක් අනුගමනය කල යුතු වීම:

යන කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය ආබාධිත ජනතාව ඡන්දය භාවිතා කිරීමට සැබවින්ම දිරිමත් කරන්නක් නොවන බව පෙන්වා දෙයි.

පනතේ ප්‍රතිපාධන දෙස හැරී බැලීමක්

මෙම පනත පැනවීමෙන්:

  1. ශාරීරික ආබාධයක් සහිත ඡන්ද දායකයන් සඳහා තම ඡන්දය සලකුණු කිරීමට ඡන්දපල වෙත වෙනත් කෙනෙකු කැටිව යාමට සැලැස්වීම: සහ
  2. ඒ වෙනුවෙන්:
පනත සංශෝදිත වගන්ති
පළාත්පාලන මැතිවරණ ආඥා පනත 54 සහ 76
පාර්ලිමේන්තු මැතිවරණ පනත 40 සහ 76
ජනමත විචාරන පනත 23 සහ 51
4වන උපලේඛනය 38 සහ 75
පළාත්සභා මැතිවරණ පනත 38 සහ 77

ප්‍රතිපාදන සංශෝදනය කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, මෙම පනත යටතේ ආබාධිත තැනැත්තන් යන්නෙන් (I). පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත භාවය හෝ  (II). වෙනත් ශාරීරික ආබාධයක් හේතුවෙන් සිය ඡන්දය නිවැරදිව සලකුණු කල නොහැකි තැනැත්තන් අදහස් වේ.

ඉහත පුද්ගල කණ්ඩායම් සඳහා සිය චන්දය සලකුණු කිරීමට පනත මඟින් විකල්ප අවස්ථා දෙකක් නිර්මාණය කරයි. එනම්:

  1. තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට වෙනත් තැනැත්තෙකු කැටිව යාම හෝ
  2. ඒ සඳහා ප්‍රධාන ඡන්දපල ස්තානාදිපති තුමා / තුමියගේ සහය ලබාගැනීමයි.

තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට වෙනත් තැනැත්තෙකු කැටිව යාම

මේ සඳහා සපුරාලිය යුතු කරුණු කිහිපයක් පනත මඟින් තව දුරටත් දක්වා සිටී. ඒ අනුව:

  • ආබාධ සහිත ඡන්ද දායකයා ඉහත එක් එක් පනතෙහි උපලේඛනයේ සඳහන් අයදුම්පත පුරවා ග්‍රාම නිලධාරීවරයාට ඉදිරිපත් කල යුතු අතර ඊට තම ඡන්දය සලකුණු කිරීම සඳහා චන්දපල වෙත කැටිව යාමට අපේක්ෂා කරන තැනැත්තාගේ විස්තර ද ඇතුලත් කල යුතු ය.
  • එසේ රැගෙන යන තැනැත්තා වයස 18 සම්පූර්ණ කර තිබිය යුතු අතර, මැතිවරණ අපේක්ෂකයෙක් හෝ කිසියම් දේශපාලන පක්ෂයක බලය ලත් නියෝජිතයෙක්, චන්දපල නියෝජිතයෙක්, හෝ ස්වාධීන කණ්ඩායමක කණ්ඩායම් නායකයෙක් නොවිය යුතු ය.
  • ග්‍රාම නිලධාරී සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් විය යුතු අතර, ඔහු විසින් චන්දධායකයාගේ ආබාධිත භාවය පරික්ෂා කර බලා එකී අයදුම්පත අනුමත කරනු ලබයි. එම සම්පූර්ණ කල අයදුම්පත  සුදුසුකම් ලැබීමේ සහතිකය නම් වේ.
  • ඉන් අනතුරුව, මැතිවරණ දිනයේ දී ආබාධ සහිත ඡන්ද දායකයා සිය නිල චන්ද පත්‍රිකාව, පිළිගත් හැඳුනුම්පතක් සහ සුදුසුකම් ලැබීමේ සහතිකය ද අතැතිව තම ඡන්දය සලකුණු කිරීමට කැටිව යන තැනැත්තා ද සමඟින් ඡන්දපල වෙත වාර්තා කල යුතු ය.
  • එවිට, ඡන්දපල කාර්යය මණ්ඩලය විසින් අනන්‍යතාවය පරික්ෂා කිරීමෙන් අනතුරුව ආබාධිත තැනැත්තා අතට චන්ද  පත්‍රිකාව ලබා දෙන අතර අවසානයේ දී ප්‍රධාන ඡන්දපල ස්ථානාධිපතිතුමා සහ තවත් ඡන්දපල නිලධාරීවරයෙක් ඉදිරියේ ආබාධ සහිත තැනැත්තාගෙන් විමසා ඡන්දය සලකුණු කර ඡන්ද පෙට්ටියට බහාලනු ලබයි

ඡන්දය සලකුණු කිරීමට ප්‍රධාන ඡන්දපල ස්ථානාධිපති තුමාගේ සහය ලබාගැනීම.

ඉහත කාර්ය පටිපාටිය අනුගමනය කිරීමට අපහසු යම් තැනැත්තෙකු සඳහා විකල්ප අවස්තාවක් පනත මඟින් ලබා දී තිබේ. එනම් ඡන්දපල වෙත යාමෙන් අනතුරුව තම ආබාධිත භාවය ප්‍රධාන චන්දපල ස්ථානාධිපතිතුමා වෙත පැහැදිලි කර, තමා වෙනුවෙන් චන්දය සලකුණු කිරීමට ඡන්දපල ස්ථානාධිපතිතුමා/ තුමියගේ සහය ලබා ගැනීමයි.  එහි දී තවත් ඡන්දපල නිලධාරීවරයෙක් ඉදිරියේ ස්ථානාධිපතිතුමා විසින් ආබාදිත තැනැත්තාගේ චන්දය සලකුණු කිරීම සිදු වේ.

 

පුද්ගල සහය ලබා දීමට පමණක් සීමා වූ  ක්‍රමවේදයක්

මැතිවරණ විශේෂ විදිවිධාන පනතෙහි ප්‍රතිපාධන විශ්ලේෂණයේ දී දක්නට ලැබෙන එක් කරුණක් වන්නේ, එය ආබාධ සහිත තැනැත්තන්ගේ දේශපාලන සහභාගීත්වය සහතික කිරීම යන පුළුල් මාතෘකාව ආමන්ත්‍රණය කිරීම වෙනුවට ආබාධිත පුද්ගලයන් සඳහා ඡන්දය සලකුණු කිරීමට අවස්තාව ලබාදීම යන පටු අරමුණට පමණක් සීමා වී ඇති බවයි.

ශ්‍රී ලංකාවද අපරානුමත කර ඇති 2007 ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 29වන වගන්තියෙන් සියලූම ආබාධ සහිත තැනැත්තන්ගේ දේශපාලන සහබාගීත්වය තහවුරු කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි. ඒ අනුව, සමාජයේ සෙසු පුරවැසියන් හා සමානව ම:

  • දැනුවත්  ඡන්ද දායකයෙක්  ලෙස රටේ මහජන නියෝජිතයන් තෝරා පත් කරගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වීමටත්:
  • මහජන නියෝජිතයෙක් ලෙස තේරී පත් වීමටත්: ඇති මානව  අයිතිවාසිකම  පිළිගෙන තිබේ.

ඡන්ද දායකයෙක් ලෙස, මැතිවරණයට අදාළ සියලූම ද්‍රව්‍ය  හා  ලියකියවිලි අවබෝධයෙන් යුතුව භාවිතා කිරීමටත්: ගව්රවාන්විත ලෙස මැතිවරණ කාර්ය පටිපාටිය තුල අනෙකුත් පහසුකම් බුක්ති විඳීමටත්: අවශ්‍ය අවස්තාවන් හී දී ආබාධිත භාවය අවම කිරීමට උපකාරී වන නව තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමටත්: ඇති අයිතිය සම්මුතිය විසින් තව දුරටත් පිළිගෙන තිබේ. ඉහත අන්තර්ජාතික සම්මුතිය හා සසඳා බැලීමේ දී මෙරට නීතිය  ආබාධ සහිත තැනැත්තන්ට හුදෙක් ඡන්දය සලකුණු කිරීමට අවස්තාව සලසා දීම  කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති බව දක්නට ලැබෙන්නකි.

කෙසේ වුව ද, අප අසල්වැසි ඉන්දියාව 2016 අංක 49 දරන ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනත සම්මත කිරීමත් සමඟ මැතිවරණ ක්‍රියාවලියට ආබාධිත ජනතාව සක්‍රීය ලෙස ඇතුලත් කර ගැනීමට පියවර රැසක් ගෙන තිබේ. එම පනතේ 11 වන වගන්තිය මඟින් ආබාධිත තැනැත්තන්ට ප්‍රවේශ පහසුකම් සහිතව ඡන්ද ය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ප්‍රකාශිතව ම පිළිගනී. ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන, ඡන්දය සඳහා භාවිතාවන  අනෙකුත්  සියලූම අමුද්‍රව්‍ය සහ ලිපි ලේඛන ආබාධිත තැනැත්තන්ට අවබෝධයෙන් යුතුව භාවිතා කල හැකි බවට සහතික කිරීම ඉන්දීය ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සහ ප්‍රාන්ත මැතිවරණ කොමිෂන් සභාවල වගකීමක් බව ප්‍රකාශ කර තිබේ. ඉහත නීති ප්‍රතිසංස්කරණය හඳුන්වා දීමෙන් පසුව පවත්වන ලද පළමු  මහා මැතිවරණය 2019 වසරේ දී පැවති අතර, එහි දී තමා වෙනුවෙන් චන්දය සලකුණු කිරීමට වෙනත් තැනැත්තෙකුගේ උපකාර ලබා ගැනීමට අමතරව:

  • අන්තර්ජාලය හෝ කෙටි පණිවිඩ මඟින් පහසුකම් කලින් වෙන් කරවා ගැනීම: (මීට  වාහන නැවැත්වීමට තැනක් වෙන් කරගැනීම, ඡන්ද මධ්‍යස්ථානය තුල දී භාවිතා කිරීමට  රෝදපුටු ලබා ගැනීම වැනි දෑ ඇතුලත් විය.
  • ඡන්ද මධ්‍යස්ථාන තුල අවම පහසුකම් අනිවාර්යයෙන් ම සහතික කිරීම: මීට බාදා රහිතව ඡන්දය සලකුණු කරන ස්ථානය වෙත ගමන් කිරීමට ඉඩකඩ සලස්වා තිබීම, අවශ්‍ය නම් අමතර විදුලි ආලෝකය ලබා දීම, බ්‍රේල් මාධ්‍යයෙන් උපදෙස් පත්‍රිකා සකස් කර තිබීම ආදිය ඇතුලත් විය.
  • ඊට අමතරව: ආබාධිත තැනැත්තන්  සහ ඔවුන් ට සහය වන්නන්ට චන්ද පෝලිමේ රැදී සිටීමෙන් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දීම ද දක්නට ලැබිණි.

ඒ අනුව, මෙරට මැතිවරණ ක්‍රියාවලිය වෙත ආබාධ සහිත ප්‍රජාව වැඩි වශයෙන් ඇතුලත් කරගැනීමට සහ ඔවුන්ගේ සක්‍රීය සහබාගීත්වය තහවුරු කිරීමට ඉන්දියානු ප්‍රතිසංස්කරණ හොඳ ආදර්ශයක් සපයන බව දක්නට ලැබේ.

ප්‍රායෝගිකත්වයෙන් තොර කාර්යය පටිපාටියක්

ඉහත උපකල්පිත සිදුවීම දෙස නැවතත් අවදානය යොමු කල හොත්, සුරංගට සිය සහෝදරයා සමඟින් චන්ද මධ්‍යස්ථානයට ගොස් චන්දය භාවිත කිරීමට වඩා වැඩි කාලයක් හා ශ්‍රමයක් ඒ වෙනුවෙන් අවසර ලබා ගැනීමේ කාර්ය පටිපාටියට වියදම් කිරීමට සිදුවන බව පෙනී යයි. මෙහි ඇති  වඩාත් කනගාටුදායක ම සිදුවීම වන්නේ  පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, ජනාදිපතිවරණය සහ (ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කළ හොත් එය ද ඇතුළුව) යන මැතිවරණ සියල්ලට ම මෙම දුෂ්කර කාර්ය පටිපාටිය මුල සිට අනුගමනය කිරීමට ඔහුට සිදුවීමයි. සරලවම කියන්නේ නම්, තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීම පිණිස වෙනත් තැනැත්තෙකු ඡන්දපල වෙත රැගෙන යාමට බලාපොරොත්තුවන ආබාධිත තැනැත්තෙකු හට ඒ සඳහා ම වසර 5ක කාලයක්  තුල වෛද්‍ය  පරීක්ෂණ 4ක් සඳහා නියත වශයෙන් ම  වෙන වෙන ම මුහුණ දීමට සිදු වේ. මෙය කිසිසේත් ම ඡන්දය භාවිතා කිරීමට ආබාධිත ජනතාව දිරිමත් කරන්නක් නොවේ.

නැවතත් අප අසල්වැසි ඉන්දියාව වෙතට යොමු වුව හොත් 2016ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනත සම්මත වීමත් සමඟ ආබාධ සහිත තැනැත්තන් සඳහා ඡන්ද නාම ලේඛනයේ සිය ආබාධිත භාවය ද සමඟින් ලියාපදිංචි වීමට එරට මැතිවරණ කොමිසන් සභාව අවසර ලබා දී තිබේ. එසේ ලියාපදිංචි වීම සඳහා විකල්ප කිහිපයක් ආබාධ සහිත ඡන්ද දායකයන්ට අනුගමනය කල හැකි  බව එරට ජාතික මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය පෙන්වා දෙයි. ඒවා නම්:

  • අන්තර්ජාලයෙන් අවශ්‍ය අයදුම්පත තෝරාගෙන ආබාධිත භාවය තහවුරු කරන සහතික ද සමඟින් nvsp.in වෙබ් අඩවිය වෙත අප්ලෝඩ් කිරීමෙන්:
  • ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථාන වෙතට ගොස් ලියාපදිංචි වීමෙන්:
  • ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කරන සංවිධාන මඟින් පවත්වන ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ කඳවුරුවලට සහභාගී වීමෙන්: හෝ
  • ඉහත කිසිඳු ක්‍රමයකට ලියාපදිංචි විය නොහැකි නම්, මැතිවරණ නිලධාරියෙකු සිය නිවසට ගෙන්වා ගැනීමෙන්: ආබාධ සහිත ඡන්ද දායකයින්ට ලියාපදිංචි විය හැකිය.

ඒ අනුව, මෙවන් ක්‍රමවේධයක් ශ්‍රී ලංකාවේ ද පැවතුනේ නම්, සුරංගට සෑම මැතිවරණයක දී ම අලුතින් වෛද්‍ය පරීක්ෂනවලට මුහුණ දීමට සිදු නොවන අතර තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට  රැගෙන යන තැනැත්තාගේ නම ද පහසුවෙන් ලියාපදිංචි කිරීමට ඉඩ තිබිණි.

ඒ අනුව, 2011 අංක 28 දරන මැතිවරණ විශේෂ විධිවිධාන පනත  ආබාධ සහිත තැනැත්තන්ගේ පුළුල් දේශපාලනික සහභාගීත්වය සහතික කිරීමට අසමත්ව ඇති බවත්, එම පනතේ හි අඩුපාඩු මඟහරවා ගැනීමට ඉන්දීය ආදර්ශය ඉතා හොඳින් උපයෝගී කරගත හැකි බවත් පෙනී යන්නකි. එමෙන් ම, මෙරට නීතිය තුලින් ආබාධ සහිත ඡන්ද දායකයන්ට ලබා දෙන පහසුකම් කරුණු දෙකකට පැහැදිලි ලෙස ම සීමා කර තිබීම, සහ එම සීමිත පහසුකම් ලබා ගැනීමට පවා ඉතා දුෂ්කර කාර්ය පටිපාටියක් අනුගමනය කල යුතු වීම: යන කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය  ආබාධිත ජනතාව ඡන්දය භාවිතා කිරීමට සැබවින්ම දිරිමත් කරන්නක් නොවන බව පෙනී යන්නකි.

මෙම ලිපියෙහි කතුවරයා වන නීතීඥ සුපුන් ජයවර්ධන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ සහකාර නීති විශ්ලේෂකවරයෙකු ලෙස කටයුතු කරයි.ලිපියෙහි ගුණ දොස් විචාරීම තුලින් සහය වූ වෙරිටේ රිසර්ච් ආයතනයේ නීති උප අංශ ප්‍රධානීනීතීඥ මල්සිරිනි ද සිල්වා මහත්මියට සහ පර්යේෂණ අධ්‍යක්ෂක නීතීඥ ගෙහාන් ගුණතිලක මහතාට විශේෂ ගෞරවය පිරිනැමේ. වෙරිටේ රිසර්ච් ආයතනය ආසියාතික  කලාපය වෙනුවෙන් ආර්තික විද්‍යාව නීතිය, දේශපාලණය, ජනමාධ්‍ය  සහ පාරිසරික සහ දේශගුණික විපර්යාස යන ක්ශේෂ්ත්‍ර සම්බන්ධ උපායමාර්ගික විශ්ලේෂණ සපයන බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන පෞද්ගලික ආයතනයක් වේ.