ශී‍්‍ර ලංකාවේ රැකියා ගිවිසුම් සහ ෆොර්ස් මජූරා ප‍්‍රතිපාදනය

නීතීඥ සුපුන් ජයවර්ධන

අප අත්සන් කරන ගිවිසුම්වල ඇති දේව ක්‍රියා  ‘ෆෝර්ස් මජූරා’ ප්‍රතිපාධනය වැදගත් වන්නේ ඇයි? පශ්චාත් කොවිඩ්-19 යුගය උදෙසා කෙරෙන  පැහැදිලි කිරීමක්.

කොවිඩ්-19 රෝගය වසංගත තත්වයක්  බවට ලෝක  සෞඛ්‍යය සංවිධානය නම් කිරීමත් සමඟ අභ්‍යන්තර හා බාහිර වශයෙන් ගමනාගමන සීමාවන් පැනවීමට ලොව සෑම රටක්ම කටයුතු කර තිබේ.  එහි ප්‍රතිඵලයක් වූයේ වසරේ ඉදිරි කාලය තුල ඇති කරගත්  දේශීය හා ජාත්‍යන්තර ගිවිසුම් බොහෝමයක් එකඟ වූ ආකාරයෙන් ම ඉටු කල නොහැකි වීමයි. මෙවන් අනපේක්ෂිත සිදුවීම් හමුවේ  ගිවිසුමක අනාගතය තීරණය කෙරෙන ක්‍රම දෙකක් පවතී.

  1. ගිවිසුමෙහි දැනටමත් ඇති දේව ක්‍රියා හෙවත්  ෆෝර්ස් මජූරා ප්‍රතිපාදනය අනුව කටයුතු කිරීම: හෝ
  2. ගිවිසුමක එවැන්නක් ඇතුලත් නොවන්නේ නම් අප නීතියේ දිගු කාලයක් භාවිතා වූ ‘නොහැකියාව අධිපතීත්වය දැරීම පිලිබඳ  මූලධර්මය’ අනුව කටයුතු කිරීම: යි.

නොහැකියාව අධිපතීත්වය දැරීම පිලිබඳ මූලධර්මය අනුව ගිවිසුම ඉටු කිරීමට අපොහොසත් වූ තැනැත්තා, තමන්ට ඊට නොහැකි වූයේ අනපේක්ෂිත හේතුවක් නිසා බවත්, එම සිදුවීම තමන්ගේ පාලනයෙන් තොර එකක් බවත්, අධිකරණය ඉදිරියේ පෙන්වා දිය යුතු ය. කෙසේ වෙතත්, මෙම ලිපිය පෙන්වා දෙන්නේ  ඉතාම අවිනිශ්චිත වූ ඉහත මූලධර්මය භාවිතා කිරීමට වඩා, ගිවිසුමකට ‘ෆෝර්ස් මජූරා’ ප්‍රතිපාධනයක් ඇතුලත් කිරීම ගිවිසුම්ගත පාර්ශවයන්ට වාසි සහගත බවයි.

දේව ක්‍රියාවක් ‘ෆෝර්ස් මජූරා’ යනු කුමක්ද?

‘ෆෝර්ස් මජූරා’ යන පාරිභාෂිත වචනය ප්‍රංශ භාෂාවෙන් බිඳී විත් ඉංග්‍රීසි අධිකරණය තුලින් විකාශය වූවකි. එහි අර්ථය සියල්ලට ඉහලින් ඇති බලය යන්නයි.  පාලනය කල නොහැකි සිද්ධියක් නිසා ගිවිසුමට සම්බන්ධ  එක් පාර්ශවයකට හෝ සියලූම පාර්ශවයන්ට එකඟ වූ පරිදි තවදුරටත් ක්‍රියා කල නොහැකි වීම මෙයින් අදහස් කරයි.  විශේෂයෙන් ම අදාළ සිදුවීම නිසා ඉදිරියට කල යුත්තේ කුමක් දැයි සිතාගත නොහැකි විට; ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවන විට; හෝ තවදුරටත් නීති විරෝධී  වන විට; එම වගන්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වේ. බොහෝ ගිවිසුම්වල මේ සඳහා දක්වා ඇති සිදුවීම් වන්නේ යුද්ධ, සිවිල් කලකෝලාහල, වැඩ වර්ජන, පිටමන්කිරීම්, අකුණු අනතුරු, වසංගත තත්ත්වයන්, ගංවතුර,  නීති රෙගුලාසි අලුතින් පැනවීම, ආදියයි.

වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය තුල ‘ෆෝර්ස් මජූරා’ ප්‍රතිපාදනය අවස්ථා දෙකක් යටතේ අදාළ විය හැකිය. එනම්:

  1. වසංගතය පැතිර යාම හේතුවෙන් ඇති වූ සෞඛ්‍යයමය අවදානම; සහ
  2. එය ජනතාව අතර සංසරණය වීම වැලැක්වීමට රජයන් විසින් නව නීති හඳුන්වා දීම; යි.

ඒ අනුව,  ගිවිසුමක ඇති ෆෝර්ස් මජූරා’ ප්‍රතිපාදනය වසංගත තත්වයන් ආවරණය කරන්නේ නම්, , එය පහත එක් ආකාරයකට කෙටුම්පත් විය හැකි ය. එනම්:

  1. ‘වසංගත තත්ත්වයන්’ ආවරණය වන බවට ප්‍රකාශිතවම දක්වා තිබීම: සහ,
  2. ගිවිසුම්කරුට සාධාරණ තත්ත්වයක් යටතේ පාලනය කල නොහැකි ඕනෑම ක්‍රියාවක් ආවරණය වන ලෙස ගිවිසුම කෙටුම්පත් කර තිබීමයි.

‘වසංගත තත්ත්වයන්’ ආවරණය වන බවට ප්‍රකාශිතවම දක්වා තිබීම

මුල් කාලීනව දේව ක්‍රියා හෙවත් ‘ෆෝර්ස් මජූරා’ යන්නට විශේෂයෙන් ම යුද්ධ , සිවිල් කලකෝලාහල ඇතුලත් වුවද වසංගත තත්ත්වයන් ඇතුලත් කිරීමට කෙටුම්පත්කරුවන් එතරම් සැලකිලිමත් නොවූහ. එහෙත් 2003 වසරේ පැතිර ගිය සාර්ස් වසංගතයත් සමඟ බොහෝ පාර්ශවයන් දේව ක්‍රියා සම්බන්ධව පොදුවේ යෙදෙන ප්‍රතිපාදනයේ එක අංගයක් ලෙස වසංගත තත්ත්වයන් ද අන්තර්ගත කොට තිබේ. එසේ ‘ෆෝර්ස් මජූරා’ වගන්තිය මඟින් ආවරණය වන්නේ කුමක්ද යන්න පැහැදිලිව දක්වා තිබීම සෑම පාර්ශවයකටම ඉතා පැහැදිලි මෙන්ම නිරවුල් ද වේ.

ගිවිසුම්කරුට සාධාරණ තත්ත්වයක් යටතේ පාලනය කල නොහැකි ඕනෑම ක්‍රියාවක් ෆෝර්ස් මජූරා වගන්තියෙන් ආවරණය කිරීම.

මෙම අවස්ථාවේ දී සිදු වන්නේ වගන්තියෙහි එන ප්‍රතිපාදනය පුළුල්ව අර්ථ දැක්විය හැකි ලෙස කෙටුම්පත් කිරීමයි. උදාහරණ ලෙස, ‘අදාළ අවස්ථා ව තුල දෙපාර්ශවයට පාලනය කල නොහැකි ඕනෑම ක්‍රියාවක් මෙම වගන්තිය මඟින් ආවරණය වන බව දැක්වීම පෙන්වා දිය හැකිය. වසර 2013 දී බ්‍රිතාන්‍ය අධිකරණය විසින් තීරණය කරන ලද Clifford Gardner v Clydesdale Bank Limited [2013] EWHC 4356 (Ch) යන නඩුවේ දී අධිකරණය කියා සිටියේ “ගිවිසුම්කරුගේ සාධාරණ පාලනය‍ෙන් ඔබ්බට යන්නා වූ තත්ත්වයක්” යන්නට වසංගතයක් ද ඇතුලත් විය හැකි බවයි.

ගිවිසුමක එවැනි වගන්තියක් ඇතුලත් වූ පමණින් සහ යම් අනපේක්ෂිත සිදුවීමක් සිදු වූ පමණින් දේව ක්‍රියා සම්බන්ධ වගන්තිය භාවිත කර වගකීම්වලින් පැන යාමට ගිවිසුමට සම්බන්ධ පාර්ශවයකට නොහැකි බවද  වටහා ගැනීම වැදගත් වේ. විශේෂයෙන් පවතින වාතාවරණය තුල ගිවිසුම එලෙසින්ම ඉටු කිරීමට ගත හැකි සියලූම පියවර ගැනීමත්, සැබෑවටම එය ඉටු කල නොහැකිනම් ඒ බව ඔප්පු කර සිටීමත් වරදකාරී පාර්ශවයේ වගකීම වේ. මෙහිදී ගිවිසුම එලෙසින්ම ඉටු කිරීම කොතරම් වියදම් අධිකද යන්න අදාළ කරුණක් නොවන අතර අවශ්‍ය වන්නේ එය ස්ථිර ලෙසම ඉටු කිරීමට ප්‍රායෝගිකව හෝ නීතිමය වශයෙන් නොහැකි වීමයි (Tandrin Aviation Holdings Limited v Aero You Store LLC., Insured Aircraft Title Service, Inc. [2010] EWHC 40 නඩුව).

විකල්ප පවතීද?

එවැනි වගන්තියක් ගිවිසුමක ඇතුලත් වන විට ඒ මඟින් විකල්ප දෙකක් සඳහා ප්‍රතිපාදන සලසා දේ. එනම්:

  • ගිවිසුම අවසන් කිරීම, හෝ
  • අදාළ අනපේක්ෂිත සිදුවීම අවසන් වන තුරු හෝ පාලනය වන තුරු ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමයි.

ගිවිසුම අවසන් වීම

එකඟ වූ මූලික කටයුත්ත කිසිසේත්ම ඉටු කල නොහැකි නම් ගිවිසුම අවසන් වූ ලෙස සැලකේ. National Carriers Ltd v Panalpina (Northern) Ltd [1981] AC 675 හී දී බ්‍රිතාන්‍ය අධිකරණය ප්‍රකාශ කලේ ගිවිසුමට එළඹීමේ මූලික අරමුණ සහ එම අරමුණ ඉටු කරගැනීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග විශාල ලෙස වෙනස් වී ඇති විට ගිවිසුමේ පාර්ශවයක් වගකීමෙන් නිදහස් කිරීම ගැන සලකා බැලිය හැකි බවයි.

අනපේක්ෂිත සිදුවීම අවසන් හෝ පාලනය වන තුරු ගිවිසුම තාවකාලිකව අත්හිටුවීම.     

අදාළ අනපේක්ෂිත තත්ත්වය අවසන් වීමෙන් අනතුරුව ගිවිසුම ක්‍රියාත්මක වන ලෙස එය කෙටුම්පත් කර ඇති අවස්ථාවල බොහෝ විට එය කාලසීමාවක් සහිතව කෙටුම්පත් කිරීම සිදුවේ. උදාහරණයක් ලෙස, අනපේක්ෂිත සිදුවීමක් සිදුවී දින 90ක් තුල එය යලි යථා තත්ත්වයට පත් වුව හොත් ගිවිසුම යලි බලාත්මක වන බවට කෙටුම්පත් කල හැකිය.

දේව ක්‍රියා  ‘ෆෝර්ස් මජූරා’ ප්‍රතිපාදනයක් ගිවිසුමෙහි අන්තර්ගත නොවන්නේ නම්.

ඔබ අත්සන් කරන සෑම ගිවිසුමක් ම පාලනය වන්නේ කුමන පනතකින්ද, එසේත් නැත්නම් නීතියකින්ද යන්න එහි අනිවාර්යයෙන්ම දක්වා තිබිය යුතු ය. මහාචාර්ය සී ජී වීරමන්ත්‍රී සිය ගිවිසුම් නීතිය යන ග්‍රන්ථයෙන් පෙන්වා දෙන ආකාරයට එසේ ගිවිසුම පාලනය කෙරෙන නීතිය සඳහන් නොවන්නේ නම්, එය මෙරට පොදු නීතිය වන රෝම ලන්දේසි නීතියෙන් පාලනය වේ. ඒ අනුව, දේව ක්‍රියා සම්බන්ධ වගන්තියක් ගිවිසුමක පැහැදිලිව අන්තර්ගත නොවන අවස්ථාවක ඊට අදාළ වන්නේ ද රෝම ලන්දේසි නීතියයි. එනම්   ‘නොහැකියාව අධීපතීත්වය දැරීම පිලිබඳ මූලධර්මය’ යි.

ගිවිසුමට සම්බන්ධ පාර්ශවයන් ගිවිසුම අවසන් කිරීම සම්බන්ධ එකඟතාවකට පැමිණීමට අපොහොසත්ව ඇති විට සහ ගිවිසුම තවදුරටත් ඉටු කිරීමට ප්‍රායෝගිකව සහ නීතිමය වශය‍ෙන් බාධා පවතින විට මෙම මූලධර්මය සහනයක් ලෙස ඉදිරිපත් කල හැකිය. කෙසේ වුවද, වියදම් අධික වීම මෙහිදී සාධාරණ හේතුවක් නොවේ. එමෙන්ම, අප අභියාචනාධිකරණය Magpeck Exports LTD., v. Commissioner of Labour and others CA. No. 141/99. නඩුවේ දී කියා සිටියේ තමාගේ වරදක් නිසා ගිවිසුම ඉටු කිරීමට නොහැකිව ඇති අවස්ථාවක එය අවසන්  කර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය නොහැකි බවයි. විශේෂයෙන් ම මෙම මූලධර්මය විශ්ලේෂණය කරමින් Hersman v shapiro co 1926 tpd යන නඩුවේ  දී දකුණු අප්‍රිකානු අධිකරණය  පෙන්වා දුන්නේ, ගිවිසුමේ ස්වභාවය, පාර්ශවයන් අතර ඇති සම්බන්ධතාවය, නඩුවේ අවස්ථානුගත කරුණු, ගිවිසුම ඉටු කිරීමට නොහැකි වීමට නිදහසට දක්වන කරුණු කොතරම් සාධාරණද යන්න නොහැකියාව අධීපතීත්වය දැරීම පිලිබඳ මූලධර්මය’ මත ගිවිසුමක් අවසන් කිරීමේදී සලකා බලන බවයි.

ඒ අනුව, අවසාන වශයෙන් පෙනී යන්නේ, ගිවිසුමක් සෑම විටම එහි පාර්ශවයන්ගේ කැමැත්ත සහ ගිවිසුමට එළඹීමේ අරමුණු නියෝජනය කරන නිසා, එය කෙටුම්පත්වන අවස්ථාවේ දී ම දේව ක්‍රියා හෙවත් ෆෝර්ස් මජූරා සම්බන්ධ වගන්තියක් ඇතුලත් කිරීම නුවණට හුරු බවයි. එමඟින්:

  • එම වගන්තිය බලාත්මක වන්නේ කුමන අවස්ථාවල දී ද?
  • වගන්තියේ සඳහන් අවස්ථාවක් උද්ගත වූ විට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? සහ
  • පාර්ශවයන්ට ලබා ගත හැකි ප්‍රතිකර්ම මොනවාද? උදාහරණ, ගිවිසුම අවසන් කිරීම, ගිවිසුම තාවකාලිකව අත්හිටුවීම හෝ එහි තෝරා ගත් කොටසක් පමණක් ක්‍රියාත්මක කිරීම:

යන්න තීරණය කළ හැකි ය.

මීට සාපේක්ෂව, නොහැකියාව අධීපතීත්වය දැරීම පිලිබඳ මූලධර්මය’ යොදා ගන්නේ නම්, ගිවිසුම ඉටු කිරීමට නොහැකි වීම සාධාරණ  හේතුවක් බලපා තිබේද යන්න තීරණය කිරීමේ අභිමතානුසාරී බලය අධිකරණය වෙත හිමි වේ. ඒ අනුව අවසාන වශයෙන්, නොහැකියාව අධීපතීත්වය දැරීම පිලිබඳ මූලධර්මය’ මඟින් ගිවිසුමේ අනාගතය තීරණය කිරීම වෙනුවට සෑම අවස්ථාවකම ගිවිසුමකට දේව ක්‍රියා  හෙවත් ‘ෆෝර්ස් මජූරා’ ප්‍රතිපාදනයක් ඇතුලත් කිරීම ගිවිසුමට එළඹෙන පාර්ශවයන්ට වඩාත් වාසි සහගත බව පෙන්වා දිය හැකිය.

 

ම‍ෙම ලිපියෙහි කතුවරයා වන නීතීඥ සුපුන් ජයවර්ධන වෙරිටේ රිසර්ච් ආයතනයේ සහකාර නීති විශ්ලේෂකවරයෙකු ලෙස කටයුතු කරයි. වෙරිටේ රිසර්ච් ආයතනය ආසියාතික කලාපය වෙනුවෙන් ආර්ථික විද්‍යාව, නීතිය, දේශපාලනය, ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධ උපායමාර්ගික විශ්ලේෂණ සපයන බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන පෞද්ගලික ආයතනයක් වේ.

වැඩිදුර අදහස් දැනගැනීමට: supun@veriteresearch.org යන ඊමේල් ලිපිනය හරහා ලිපියෙහි කතුවරයා වෙතින් විමසීම් කරන්න.