ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය: වසා දැමිය යුතු  අතුරු මාවත්

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකෙන්නේ එරට උත්තරීතර ම නීතිය වශයෙනි. මින් අදහස් වන්නේ රටෙහි කිසිම නීතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව උල්ලංඝනය  නොකළ යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනුකූල නොවන නීති සකස් වීමට ඉඩකඩ පැවතීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරත්වය පරිහානියට ලක් වීමටත්  , එහි ප්‍රතිඵලයක් ලෙස රටෙහි නීති පද්ධතිය  ව්‍යාකූල වීමටත් හේතු විය හැක.

මෙම ලිපිය, පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලභාවය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති ඉඩකඩ සීමිත වීම මෙරට තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන  නීති සම්පාදනය කල හැකි අතුරු මාවත්  සකසන අන්දම පෙන්වා දෙයි. ඒ අනුව, අනාගතයේ ගෙන ඒමට යෝජිත  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නීති පමණක් බලාත්මක වන බව සහතික කිරීම  පිණිස පනතක් සම්මත වූ පසු එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා දිය යුතු බව මෙම ලිපියෙන් යෝජනා කරයි.

සීමා සහිත අධිකරණ විමර්ශන බලයක්.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරුපනය කිරීමේ සහ පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකුලභාවය විමසා බැලීමේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී තිබේ. කෙසේ නමුදු, මෙම බලය පනත් කෙටුම්පතක්  නීතියක් බවට පත් වීමට පෙර එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය  විමසා බැලීමට පමණක් සීමා වූවකි. තව දුරටත් පැහැදිලි කරන්නේ නම්, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කල දින සිට සතියක් ඇතුලත එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනුකූල වන්නේ ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රශ්න කිරීමට රටෙහි ඕනෑම පුරවැසියෙකුට අවසරය පවතී. ඒ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව අනුව ය.

මෙවැනි පෙත්සමක් ඉදිරිපත් වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු විභාග කර:

  • පනත් කෙටුම්පත ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව හා අනුකූල බවට හෝ,
  • එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ප්‍ර‍තිපාදන එකක් හෝ කිහිපයක් සමඟ අනුකූල නොවන බවට තීරණය කරයි.

පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ ප්‍ර‍තිපාදන සමඟ අනුකූල නොවන්නේ නම්, එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට අනුකූලවන අයුරින් සම්මත කළ යුත්තේ කවර ක්‍රියාවලියක් ඔස්සේ ද යන්න  පෙන්වා දෙයි.

ඒ අනුව:

  • එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවෙන් ලැයිස්තුගත කර ඇති ආරක්ෂිත විධිවිධාන හා අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වේ නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ජනමත විචාරණයකදී මහජනතාව විසින් ද අනුමත කල යුතු ය.
  • පනත් කෙටුම්පත අනුකූල නොවන්නේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ වෙනත් යම් ප්‍රතිපාදනයක් සමඟ පමණක් නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත වීම ප්‍රමාණවත් වේ.

එමෙන් ම, කිසියම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට පෙර සිට එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු බවට කැබිනට් මණ්ඩල යෝජනාවක් අනුමත කල හැකි ය. ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්තාවේ  84 ව්‍යවස්ථාව අනුව අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් නොවන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අනුකූල නො වූවද, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට හැකියාව පවතී. 120 (ඇ) ව්‍යවස්තාව අනුව එවන් යෝජනාවක් සම්මත වූ පසු ශ්‍රේෂ්ඨාධිකරණයට විමසිය හැක්කේ පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට  පෙර එය ජනමත විචාරණයකට යොමු කල යුතු ද යන්න පමණි.

මෙකී ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන්නේ ඉහත රූප සටහනේ දැක්වෙන  ආරක්‍ෂිත විධිවිධාන හැරුණු විට ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ  අනෙකුත් විධිවිධාන  හා අනුකූල නොවන පනත් කෙටුම්පතක්  බලාත්මක කල හැකි වීමයි. උදාහරණයක් ලෙස, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කළ යුතු පනත් කෙටුම්පතක් බවට කැබිනට් මණ්ඩල යෝජනාවක් ද සමඟිනි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සලකා බැලීමට හැකි වූයේ පනත් කෙටුම්පතේ යම් ප්‍ර‍තිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ ආරක්ෂිත විධිවිධාන සමඟින් අනුකූල නොවන්නේ ද යන්න පමණි.

ප්‍රකාශිතවම තහනම් නොවූ  අතුරු මාවත්

අප සාකච්ඡා කරමින් සිටින මූලික දුර්වලතාවය තුලින් හටගන්නා තවත් ලක්ෂණයක්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති සම්පාදනය වීමෙහි ලා ඉස්මතු වේ.  එනම්, පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ පනත් කෙටුම්පතකට හරයාත්මක සංශෝධන එක් කිරීමෙන් අධිකරණ  ක්‍රියාවලිය මුලුමනින් ම මගහැර යා හැකි වීමයි. ශ්‍රේෂ්ඨාධිකරණය පනත් කෙටුම්පතක ව්‍යවස්ථානුකූල භාවය විමසීමෙන් පසුව පාර්ලිමේන්තුව එයට මූලික සංශෝධනයන් එක් කළහොත් අලුතින් එක් කල සංශෝධනවල ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විමසා බැලීමේ හැකියාවක් නැත.

මොකක්ද මේ කාරක සභා අවස්තාව?

නීති සෑදීමේ ක්‍රියාවලිය තුළ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාව පනත් කෙටුම්පතක දෙවන හා තුන්වන කියවීම් අතරතුර එළඹෙන්නකි. මෙම කාරකසභා අවස්ථාවේ දී සිදුවන්නේ  පනත් කෙටුම්පත විවාදයට ගන්නා අතර ඊට සංශෝධන එකතු කිරීමයි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත සංශෝධන ඉදිරිපත් කල හැකි අතර , අවශ්‍ය නම් ඊට වැඩිමනක් සංශෝධන එකතු කිරීමට ද පාර්ලිමේන්තුවට හැකියාව පවතී.  එසේ යෝජනා කෙරෙන සංශෝධනයක ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්තානුකුලභාවය  පරික්ෂා කර හැකි එකම අවස්ථාව වන්නේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 77 ව්‍යවස්ථාව අනුව එම කෙටුම්පත නීතිපතිවරයා විසින් පරික්ෂාවට ලක් කිරීම පමණි (පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 43 (3)). නීති සෑදීමේ ක්‍රියාවලියෙහි එන මෙම අවස්ථාවේ දී පනත් කෙටුම්පතක් තීරණාත්මක ලෙස වෙනස් කිරීමෙන් සිදු වන්නේ එය මහජනතාවගේ හෝ අධිකරණයේ පරික්ෂාවට ලක් වීමෙන් තොරව ම නීතිගත වීමයි.

මීට අදාලව මෑත කාලීනව වඩාත් සාකච්ඡාවට ලක් වූ එක‍් උදාහරණයක් ලෙස 2017  අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතට කාරකසභා අවස්ථාවේ දී මූලික සංශෝධන ගණනාවක් එක් වූ ආකාරය විමසා බැලීම වැදගත් වේ. මෙම පනත ගෙන ඒමේ ප්‍රකාශිත අරමුණ වූයේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කරන සෑම නාම යෝජනා පත්‍රයකින් ම 30%ක  කෝටාවක් කාන්තා අපේක්ෂකයන්ට හිමි වන බව සහතික කිරීමයි. 2017 ජූලි 10 වන දින ගැසට් පත්‍රයේ පළ වූ පනත් කෙටුම්පත 2017 ජූලි 28 වන දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් විය. අනතුරුව එය 2017 අගෝස්තු 9 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගනු ලැබීය. ඒ වන විට ගැසට් පත්‍රයේ පල වූ සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කළ පනත් කෙටුම්පත එක් පිටුවක ලේඛනයක් වූ අතර එමඟින්  විශේෂයෙන් ඉහත කී අරමුණට අදාලව 1988 අංක 2 දරන පළාත් සභා මැතිවරන පනතේ වගන්ති 3ක් සංශෝධනය කිරීමට  පමණක් නියම කර තිබුණි(ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සඳහා බලන්න හැන්සාර්ඩ් වාර්තාව, 254 වන වෙළුම-අංක.5, 2017 අගොස්තු 22, පිටුව 547). කෙසේ වෙතත්, 2017 සැප්තැම්බර් 22 වැනි දින අවසාන වශයෙන් පාර්ලිමේන්තුව සම්මත  කල පළාත්සභා (සංශෝධන) පනත මඟින් මූලික පනතේ වගන්ති 24ක් සංශෝධනය කර තිබූ  අතර පිටු 21කින් සමන්විත විය. කාරක සභා අවස්ථාවේ සිදු වූ  සංශෝධන අතරට මිශ්‍ර ඡන්ද ක්‍රමය හඳුන්වා දීම සහ සීමා නිර්ණය කමිටුවක් ස්ථාපිත කිරීම ඇතුළත්ව තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මූලික පනත් කෙටුම්පත ඒ වනවිටත් සලකා බලා තිබූ බැවින් මෙම කිසිඳු සංශෝධනයක් අධිකරණමය පරික්ෂණයකට නැවත  භාජනය නොවීය.

ගැටලුව කොතනද?

ඉහත ගැටලු උදෙසා වර්තමාන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව මගින්ම දක්වා ඇති ප්‍රතිපාදනයන් බලපා තිබේ.  එනම් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව හා අනුකූල නොවන පනත් කෙටුම්පතක්  උවද පාර්ලිමේන්තුව සම්මත කල පසු එය වලංගු නීතියක් බව එහිම දක්වා තිබීමයි. එනම්, 80 (3)වන ව්‍යවස්තාව‍ අනුව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු පනතක් බවට පත් වූ පසු පනතෙහි වලංගුභාවය  මොනයම් ම වූ හෝ  කරුණක්ක් මත විමසීමෙන් සියලූ ම අධිකරණ වළක්වා තිබේ.

ගැටලුවට විසඳුමක්

පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්‍ෂිත විධිවිධාන හැර, අනෙකුත් විධිවිධානවලට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළද, අවසානයේ දී පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමෙන් සම්මත කළ හැකිය. එමෙන් ම, පනත් කෙටුම්පතක් අධිකරණ විමර්ශනයට ලක් කිරීමෙන් පසුව එළඹෙන කාරක සභා අවස්ථාවේ දී මූලික පනතට හඳුන්වා දෙන ඇතැම් සංශෝධන මඟින් ද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව හා අනනුකූල වීමේ අවදානමක් නිර්මාණය වේ.

පනතක් සම්මත වූ පසුත් එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය විමර්ශනය  කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීම ඉහත ගැටළු ද්විත්වයට ම සාර්ථක විසඳුමක් ලෙස යෝජනා කල හැකි ය. එහි දී කාලය  පිළිබඳ සීමාවකින් තොරව, පනතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය  අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට අයිතිවාසිකමක් ලබා දෙයි. නිදසුනක් ලෙස, ඉන්දියානු  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  13 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, මූලික අයිතිවාසිකම්වලට අනනුකූලවන සියලු නීති අවලංගු වන බවයි. මෙම ඉන්දියානු ප්‍රතිපාදනය මගින් නීති,  ශ්‍රේෂ්ඨාධිකරණයේ අඛණ්ඩ විමර්ශනයට ලක් කිරීමට අවසර ලබා දෙයි.  2018 සැප්තැම්බරයේදී  විභාග කරන ලද ‘Navtej Singh Johar v. Union of India (2018 (10) SCALE 386)’ යන නඩුවේ  දී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ 1860 ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් සමලිංගික හැසිරීම අපරාධමය වරදක් බවට පත් කර තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි  බවයි. එහි දී තව දුරටත් ප්‍රකාශ  වූයේ 377 වගන්තිය තුළින් සමානත්වයට ඇති අයිතිය, වෙනස්කමකට භාජනය නොවීමට ඇති අයිතිය සහ ප්‍රකාශනයේ නිදහස යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ද පනතක් බලාත්මක කළ පසු අධිකරණ සමාලෝචනයට ලක් කෙරෙන ක්‍රමයක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය සාකච්ඡා කර ඇත. ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිතයින්ගේ වාර්තාව සහ අධිකරණ පිළිබඳ අනු කාරකසභා  වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපිත කොට පනතක් බලාත්මක කිරීමෙන්  පසුත් ඒවා  අධිකරණ විමර්ශනයට ලක් කිරීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම  ඉස්මතු කර තිබේ. මෙම වාර්තාවන් හී නිර්දේශ වසර 2016 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම උදෙසා පත් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක  මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත්,  2017 සැප්තැම්බරයේ ඉදිරිපත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මඟින් නීතියක් සම්මත වීමෙන් පසුව අධිකරණ සමාලෝචනයට ලක් කිරීමේ ක්‍රියාවලිය පළාත් සභා ප්‍රඥප්තීන්ට පමණක් සීමා කර තිබේ.

නිගමනය

ශ්‍රී ලංකාවේ  වර්තමාන නීති සම්පාදන ක්‍රියාවලිය තුල පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති ඉඩකඩ සීමිත වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය පරිහානියට ලක් කෙරෙන මාවතක් නිර්මාණය කර තිබේ  . පනතක් සම්මත වූ පසු එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා දීම මෙම ගැටලුවට ප්‍ර‍තිකර්ම සපයන අතර අවසානාත්මක වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය ද ආරක්ෂා කරන්නකි.    ඒ අනුව,  ඉදිරියේ ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ එවැනි ව්‍යවස්ථානුකුල නොවන නීති සම්මත වීමට ඇති ඉඩකඩ වැලැක්වීම පිණිස පනතක් සම්මත වූ පසු එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා දීම කල් පවතින විසඳුමක් ලෙස යෝජනා කල හැකි ය.