නිසි  කාර්යය පටිපාටියේ අයිතිය: අත්අඩංගුවට පත් ඔබ සුරකින ඇසට නොපෙනෙන රන් දම්වැල

නීතිඥ සුපුන් ජයවර්ධන

සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට පත් වූ ඕනෑම පුද්ගලයෙකුට:

  • නිර්දෝෂී තැනැත්තෙකු ලෙස සැලකිලි ලැබීමටත්:
  • හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් වීමටත් :
  • සාධාරණ නඩු විභාගයක දී නිදහසට කරුණු ඉදිරිපත් කිරීමටත්:

අයිතිය පවතී.   මෙකී සියලූ ම අයිතිවාසිකම් අවහිරයකින් හෝ ප්‍රමාදයකින් තොරව හිමි වීම ‘නිසි කාර්යය පටිපාටිය’ ලෙස විග්‍රහ කල හැකි ය. බ්ලැක්ස් නීති ශබ්දකෝෂයට අනුව නිසි කාර්යය පටිපාටියේ අයිතිය යනු “සෑම පුද්ගලයෙකුගේ ම ජීවත්වීමේ  අයිතිය, දේපල සහ පුද්ගලික නිදහස ආරක්ෂා කෙරෙන නීතිමය වටපිටාවක් රට තුල පැවතීම”යි. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද උක්ත අයිතිවාසිකම් පිළිගෙන  තිබේ. එකී අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවක ඊට  එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට සියලු දෙනාට ම හිමිකම් පවතී.

මෙම ලිපිය, පොලිස් අත්අඩංගුවට පත්වූවෙකු වරදකරු ද,  නිවැරදිකරු ද යන්න අධිකරණය තීරණය කරන තුරු ඔවුන් සම්බන්ධව නිසි කාර්යය පටිපාටියට අනුව කටයුතු කිරීමේ වැදගත්කම සාකච්ඡා කරයි. එමෙන් ම, කොවිඩ්-19 වසංගතය අතරතුර සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති ප්‍රායෝගික අපහසුතා අවම කිරීමට:

  • වීඩියෝ තාක්ෂණය භාවිතයෙන්  නඩු කටයුතු පවත්වා ගෙන යා  හැකි පරිදි අධිකරණ පද්ධතිය බල ගැන්වීම;
  • බන්ධනාගාර රැඳවියන්ට වීඩියෝ තාක්ෂණ ය භාවිතයෙන් නීතීඥයන් සමඟින් සන්නිවේදනය කිරීමට සහ අධිකරණ කටයුතුවලට සහභාගී වීමට පහසුකම් ස්ථාපනය කිරීම:
  • පොලීසිය හා බන්ධනාගාර තුල රැඳවූවන් සම්බන්ධ වාර්තා ඩිජිටල් කිරීම සහ ඔන්ලයින්  ක්‍රමයට තොරතුරු ලබා ගැනීමට නීතීඥයන්ට / සමීපතමයින්ට ඉඩ කඩ සැලැස්වීම: සහ
  • නීතිය බලාත්මක කරන නිලධාරීන් සහ ආයතනවලට සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන උපදෙස් නිකුත් කිරීම:

නිර්දේශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වූ අයිතියක්.

සැකකරුවෙකු අධිකරණයෙන් වරදකරුවෙකු වන තුරු ඔහුට හෝ ඇයට හිමි අයිතිවාසිකම්  ගණනාවක් අප  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  12 සහ 13 ව්‍යවස්ථාවන්ගෙන් පිළිගෙන තිබේ.

මූලික අයිතිවාසිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාධනය
නීතිය ඉදිරියේ සමානත්වයට ඇති අයිතිය 12(1)
නීතිය ඉදිරියේ වෙනස්කමකට භාජනය නොවීමට ඇති අයිතිය 12(2)
අත්අඩංගුවට ගැනීමට හේතු දැනගැනීමේ අයිතිය 13(1)
නොපමාව අධිකරණයට ඉදිරිපත් වීමේ අයිතිය 13(2)
සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය 13(3)
අධිකරණයෙන් වරදකරු කරන තෙක් නිර්දෝෂී   පුද්ගලයෙක් ලෙස සැලකිලි ලැබීමේ අයිතිය 13(5)

 

අත්අඩංගුවට පත් සැකකරුවෙකු සම්බන්ධව නීතිය බලාත්මක කරන ආයතන කෙසේ කටයුතු කල යුතු ද යන්න ගැන මඟපෙන්වීමක් ඉහත ප්‍රතිපාදන තුල අන්තර්ගත වේ. අනුර වීරවංස එදිරිව නීතිපති සහ තවත් අය (2001 Sri. L. R. 387 හී දී ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ 13 වන ව්‍යවස්ථාව තුලින් ‘සෑම සැකකරුවෙක් ම විනිසුරුවරයාට මුහුණට මුහුණ පෙනෙන සේ ඉදිරිපත් කල යුතුය’ යන මූලධර්මය ආරක්ෂා වන බවයි)). මෙම මූලධර්මය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දැඩි සීමාකාරී නීතියක් බලාත්මක කිරීමේ දී පවා අත්හල නොහැකි බව අධිකරණයේ මතය විය. සැකකරු  මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට පැමිණවීමෙන්:

  • වද හිංසාවක් සිදු වී ඇත්දැයි මහේස්ත්‍රාත්වරයාට ම පරික්ෂා කර බැලීමටත්:
  • පොලිස් අත්අඩංගුවේ දී සැකකරුට සිදු වූ වද හිංසා ගැන අධිකරණයට කියා පෑමටත්:

පසුබිම නිර්මාණය වේ.

කෙසේ වුව ද, අපරාධ සැකකරුවන්ට ගෞරවණීය ලෙස සැලකිය යුතු බව සහ නීතියෙන් පමණක් දඬුවම් කල යුතු බව සමාජයෙහි ඉතා අඩුවෙන් පිලිගැනෙන්නකි. කන්දවලගේ දොන් සමන්ත පෙරේරා එදිරිව ස්ථානාධිපති හෙට්ටිපල පොලීසිය(2020, S.C. FR Application No. 296/2014) නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති සියලූ ම අයිතිවාසිකම් සැකකරුවන්ට එලෙසින් ම අදාළවන බවයි. රත්නායක තරංගා ලක්මාලි එදිරිව නිරෝෂන් අබේකෝන් පොලිස් පරීක්ෂක, ඇඹිලිපිටිය පොලීසිය (SC/FR Application 577/2010) හී දී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් බන්ධනගාරයත් යකඩ ගේට්ටුවකින් හරස් කර නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය. එනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලස්වන රැකවරණය බන්ධනගාර ගතවූවන්ට ද නොඅඩුවම හිමි වන්නේ ය යන්නයි.

කොවිඩ්-19 පළමු රැල්ල: අලුත් දොරවල් දෙකක් විවර වෙයි.

මෙරට පළමු දේශීය කොවිඩ්-19 රෝගියා වාර්තා වීම 2020 මාර්තු 11 වන දින සිදු විය. එතැන් පටන් රෝග ව්‍යාප්තිය වැලැක්වීමට පියවර ගැනුණු අතර, රෝගීන් රට තුලින් වාර්තා නොවීම මත 2020 ජූලි 28වන දින සංචරණ සීමා මුළුමනින් ම ඉවත් කරන ලදී.

වසංගතය පැතිර යාමත් සමඟ, 2020 මාර්තු 16වන දින අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කරමින්, හදිසි නඩු විභාග හැර මහේස්ත්‍රාත් අධිකරණ, මහාධිකරණ සහ කම්කරු විනිශ්ය සභා තුල නඩු කටයුතු සීමා කරන ලෙසට දැනුම් දෙනු ලැබීය. කෙසේ වුව ද, මෙම සීමාවන් ඇප ඉල්ලීම් සඳහා බල නොපාන බව ද එහි ම සඳහන් විය. පසුව නිකුත් කෙරුණු  2020 මාර්තු 19 දිනැති චක්‍රලේඛයෙන් අපරාධ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම සඳහා සන්නිවේදන තාක්ෂණය ඔස්සේ නඩු විභාග පවත්වන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව නිර්දේශ කරන ලදී.

මේ අතර, අනෙකුත් අපරාධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අමතරව:

  • නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංගනය කිරීම: සහ
  • කොවිඩ්-19 රෝගය සම්බන්ධ අසත්‍ය කටකතා පැතිරවීම:

යන වැරදි සඳහාද පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබිණි.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම.

ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ 2020 මැයි 20 දිනැති වාර්තාවට අනුව මාර්තු 20 සිට මැයි 20 අතරතුර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයන් 60425 දෙනෙකු අත්අඩංගුවට ගෙන  තිබිණි. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 16924ක් විය. මෙසේ අත්අඩංගුවට පත් වූවන්ට ඇප ලබා දීමට කොපමණ කාලයක් ගනු ලැබුවේ ද, අත්අඩංගුවට පත් වාහන නිදහස් කලේ ද, එසේ නිදහස් කරන තෙක් ඒවාට භෞතික හානියක් නොවන සේ රඳවා තැබුවේ ද, යන්න පිලිබඳ කිසිඳු සඳහනක් නොවීය.

කොවිඩ්-19 සම්බන්ධ අසත්‍ය කටකතා පැතිරවීම.

කොවිඩ්-19 සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ පතුරවන්නන්   අත්අඩංගුවට ගන්නා  බවට 2020 අප්‍රේල් 1වන දින රජය නිවේදනය කල අතර, ඒ අනුව:

අංකය සිදුවීම නඩු පැවරීමේ දී අදාළ කරගත් නීතිය අත්අඩංගුවට ගත් දිනය නිසි පරිදි අධිකරණයට ඉදිරිපත් කල දිනය
1 ශ්‍රී  ලංකාවේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ සම්බන්ධව වැරදි සංඛ්‍යාලේඛන ප්‍රචාරණය කිරීම.  දණ්ඩනීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත 6වගන්තිය 2020 මාර්තු 16 2020 මාර්තු 16
2 කෝවිඩ්-19 හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගිය බවට ප්‍රචාරය කිරීම  දණ්ඩනීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත 6වගන්තිය 2020 මාර්තු 24 2020 අප්‍රේල් 1
3 කොතලාවල ආරක්ෂක පීටය ප්‍රභූන්  සඳහා විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යන බව ප්‍රසිද්ධ කිරීම.  දණ්ඩනීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත 6වගන්තිය 2020 අප්‍රේල් 1 2020 අප්‍රේල් 1
4 ජනාධිපතිවරයාට කොවිඩ්-19 වැළඳී ඇථි බව ප්‍රචාරය කිරීම  දණ්ඩනීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත 6වගන්තිය 2020 අප්‍රේල් 5 2020 අප්‍රේල් 5
5 කොවිඩ්-19 රෝගයෙන් මිය ගිය ඕනෑම අයෙකු ආදාහනය කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කල පසු ඊට එරෙහිව මතවාදී ජිහාදයක් සඳහා පුද්ගලයන්ට ආරාධනා කිරීම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුති පනත 3 වගන්තිය සහ පරිගණක අපරාධ පනත 6 වගන්තිය 2020 අප්‍රේල් 9 2020 සැප්තැම්බර් 17

(වගුවෙහි සිදුවීම්වල තොරතුරු මූලාශ්‍ර ලිපිය අවසානයේ දක්වා ඇත

වගුවේ 1 සිට 4 දක්වා සිදුවීම් වල දී සැකකරුවන් 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත6 වගන්තිය  යටතේ අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඊට අනුව කිසියම් තැනැත්තෙකු ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය හෝ ජනතාවගේ යහපැවැත්මට හානිකර පරිදි පරිගණකයක් භාවිතා කිරීම වරදක් වේ. ඉහත සිදුවීම් සලකා බැලීමේ දී පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉහත වගන්තිය අනවශ්‍ය පුලුල් බවකින් යුක්තව භාවිතා කර ඇති බවයි.  පනතේ 21 වගන්තියට අනුව පරිගණක අපරාධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ හෝ පැය 24ක් තුල අධිකරණයට ඉදිරිපත් කල යුතු ය. ඒ අනුව පනත බලාත්මක කර ඇති අරමුණ සම්බන්ධව ගැටළු පැවතිය ද,වගුවෙහි 1 සිට 4 දක්වා අවස්ථා සියල්ලේ දී ම නිසි කාර්ය පටිපාටියට අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පෙනී යන්නකි.

කෙසේ වුව ද, මෙහි පස්වන සිදුවීමේ දී නීතිය ක්‍රියාත්මක කරන ආයතන නීතිය අභිබවා ගොස් ඇති බව දක්නට ලැබේ.  එහි දී, ෆේස්බුක් සටහනක් ඵල කිරීම මත රම්සි රාසික් නමැති බ්ලොග් ලිපි රචකයා අත්අඩංගුවට ගත් අතර මුස්ලිම් ජනතාවට එරෙහි මතවාදී ප්‍රහාරයන්ට මුහුණ දීම පිණිස පෑන සහ යතුරුපුවරුව උපයෝගී කරගනිමින් ජිහාදයක නිරත විය යුතු බව ඔහු ලියා තිබිණි. කොවිඩ්-19 රෝගයෙන් මිය ගිය ඉස්ලාම් ආගමිකයන් ඇතුළු සියලු පුද්ගලයන් ආදාහනය කල යුතු බව සෞඛ්‍යය  අමාත්යංශය පැවසූ පසු, ඊට අදාළව ඉස්ලාමීය මතවාදය දැක්වීමක් ලෙස මෙම අදහස ඉදිරිපත් කර තිබිණි. ඔහුට 2007 අංක 56 දරන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුති පනතේ 3 වගන්තිය ප්‍රකාරව වාර්ගික හා ආගමික අසමගිය ඇතිකිරීම යන වරදට චෝදනා එල්ල විය. පනතේ 3(4) වගන්තිය අනුව, මෙම වරදට සැක පිට අත්අඩංගුවට ගන්නා තැනැත්තෙකුට  ඇප ලබා  දිය හැක්කේ මහාධිකරණයට පමණි. කෙසේ වුවද, පනතේ 3(5) වගන්තිය අනුව  සැකකරු හැකි ඉක්මනින් මහාධිකරණයට ඉදිරිපත් කල යුතු අතර  එවැනි නඩු කටයුතු  සඳහා මහාධිකරණයේ දී  ප්‍රමුඛත්වය හිමි විය යුතු ය. මෙසේ පැහැදිලි නීතිමය ප්‍රතිපාධන තිබිය දීත්, අප නීතිය බලාත්මක කරන ආයතන රම්සි රාසික්ව දින 161 නොකඩවා රඳවාගෙන සිටි අතර සැප්තැම්බර් මස 17 වන දින මහාධිකරණය මඟින් ඔහුට  ඇප ලබා දෙන තුරු මහේස්ත්‍රාත් අධිකරණයට පමණක් ඉදිරිපත් කර තිබිණි.

වසංගතය අතරතුර අයිතිවාසිකම් නොකඩවා ආරක්ෂා කිරීමට නම්.

කොවිඩ් -19 වසංගතය පැතිර යාමත් සමඟ සැකකරුවන්ට නීතීඥයන් හමු වීමට සහ අත්අඩංගුවේ දී සිදු වූ වද හිංසා ගැන අධිකරණයට දැනුම් දීමට ඇති ඉඩකඩ ප්‍රායෝගිකව සීමා වී තිබේ. මෙය අපරාධ සැකකරුවන්ට  අයිතිවාසිකම් අහිමි විය හැකි වටපිටාවක් නිර්මාණය කරන්නකි. විශේෂයෙන් නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම් මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නොකඩවා ම සිදුවන බැවින් ඒ සෑම අවස්ථාවකදී ම නීතියේ සඳහන් කාර්යපටිපාටියට අනුව ඔවුන් සම්බන්ධව කටයුතු සිදු වීම වැදගත් වේ. ඒ සඳහා අනුගමනය කල යුතු නිර්දේශ කිහිපයක් මෙසේ ඉදිරිපත් කල හැකි ය.

  1. පහත කරුණු ආවරණයවන පරිදි නීතිය බලාත්මක කරන ආයතන වෙත රෙගුලාසි නිකුත් කිරීම:

(I). අත්අඩංගුවට ගත් විගසම සැකකරුවන් විනිසුරුවරයෙකු හමුවට ඉදිරිපත් කිරීම සහ ඇප අයදුම්පත් සලකා බැලීම සඳහා වීඩියෝ තාක්ෂණය උපයෝගී කර ගැනීම.

මෙම විසඳුම ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී 2020 මැයි 20 වන දින ක්‍රියාවට නැංවිණි. තවද, කොළඹ දිස්ත්‍රික්කය තුල රිමාන්ඩ් සිරකරුවන්ගේ  ඇප ඉල්ලීම් සලකා බැලීම සඳහා ඇතැම් අධිකරණ ශාලාවන්ගේ සහ බන්ධනාගාරවල වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් ස්ථාපනය කිරීමේ තාවකාලික වැඩපිළිවෙළකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

(ii). බන්ධනාගාර රැඳවියන්ට වීඩියෝ තාක්ෂණය භාවිතයෙන්  නීතීඥයන් සමඟින් පුද්ගලිකව සන්නිවේදනය කිරීමට සහ අධිකරණ කටයුතුවලට සහභාගී වීමට පහසුකම් ස්ථාපනය කිරීම:

(iii). සැකකරුවන්ගේ ආසන්නතම ඥාතීන්ට සහ නීතීඥයන්ට දුරස්ථව ප්‍රවේශ විය හැකි පරිදි පොලිස් වාර්තා සහ නඩු වාර්තා ඩිජිටල්කරණය කිරීම.

අත්අඩංගුවට  ගත් සැකකරුවෙකු නිසි පරිදි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී මෙය ඉතා වැදගත් වන අතර සැකකරුගේ ආසන්නතම ඥාතීන්ට සහ නීතීඥයන්ට  එක් එක් අවස්ථාවේ සැකකරු රඳවා ඇත්තේ කුමන නිලධාරියාගේ භාරකාරීත්වය යටතේ ද යන්න දැනගැනීමට ද මෙය උපකාරී වේ.

මීට අමතරව, නීතිය බලාත්මක කරන ආයතන පද්ධතිය‍ෙහි ධනාත්මක  වෙනසක් උදෙසා:

  • අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ට අදාළ නිසි කාර්යය පටිපාටිය, මූලික අයිතිවාසිකම් ආදිය පිලිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම.

ලන්දගේ ඉෂාරා අන්ජලී  එදිරිව වරුණි බෝගහවත්ත  සහ තවත් අය (2019, SC (FR). 677/2012) නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කල පරිදි, පොලිස් අත්අඩංගුවට පත් වූවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කල යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් නිකුත් කිරීම.  ඊට:

(i). නීතියේ සමාන රැකවරණය ප්‍රවර්ධනය කිරීම:

(ii). මානව ගරුත්වය සංස්ථාපනය කිරීම:

(iii). හැකි ඉක්මනින් විනිසුරුවරයෙක්  ඉදිරියට පැමිණවීම:

ආදිය ඇතුලත් විය යුතු ය.

කොවිඩ්-19 රෝගය පවතින කාලය තුල පමණක් නොව රෝගය තුරන් කිරීමෙන් පසුව ද, ශ්‍රී ලංකාවේ නීති දේහය තුල ඔඩුදුවා ඇති යුක්තිය ප්‍රමාද වීම  යන ගැටලුවට සාර්ථක විසඳුම් ලබා දීමට ඉහත නිර්දේශ බලාත්මක කිරීම වැදගත් වේ. එමෙන් ම, එවැනි වැඩපිළිවෙලක් පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවෙකු වරදකරුවෙක් ද යන්න නීතියෙන් තීරණය කරන තුරු ඔහුගේ/ ඇයගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිසරයක් තහවුරු කරනු ඇත.

තොරතුරු මූලාශ්‍ර,

  1.  “Two arrested for spreading false information on Covid-19 on social media,” Ada Derana, March 16, 2020, http://www.adaderana.lk/news/61420/two-arrested-for-spreading-false-information-on-covid-19-on-social-media (accessed June 24, 2020).
  2. “Educational administrator remanded for uploading fake news,” Daily News, March 25, 2020, http://www.dailynews.lk/2020/03/26/law-order/215175/educational-administrator-remanded-uploading-fake-news?page=32 (accessed May 23, 2020);).
  3. “Uni. student arrested for spreading false info on Covid-19,” Ada Derana, April 2, 2020, http://www.adaderana.lk/news/62172/unistudent-arrested-for-spreading-false-info-on-covid-19 (accessed June 24, 2020);).
  4. “Directress of a dancing institute remanded for spreading false news about the President,” Newswire, April 6, 2020, http://www.newswire.lk/2020/04/06/directress-of-a-dancing-institute-remanded-for-spreading-false-news-about-the-president/ accessed May 23, 2020).
  5. “Sri Lanka: Health concerns for detained blogger: Ramzy Razeek,” Amnesty International, May 20, 2020, https://www.amnesty.org/en/documents/asa37/2357/2020/en/ (accessed May 25, 2020).