මෙරට නඩත්තු නීතිය 1999 අංක 37 දරන නව නඩත්තු පනතින් පාලනය වේ. එය එතෙක් පැවති 1889 අංක 20 පනත අවලංගු කර හඳුන්වා දෙනු ලැබූවකි. මෙම පනත තම නඩත්තු වියදම් සපුරා ගත නොහැකි විවාහක පුද්ගලයෙකුට තම සහකරු හෝ සහකාරිය වෙතින් නඩත්තු ඉල්ලා සිටීමට ප්‍රතිපාධන සලස්වා තිබේ. ඒ අනුව, තම සහකරු හෝ සහකාරියට තමාව නඩත්තු කිරීමට හැකියාව තිබියදීත් සිතා මතා ම එය නොසලකා හරින බවට කිසියම් තැනැත්තෙකුට හැංගී යන්නේ නම්, ඔහුට හෝ ඇයට තම ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩත්තු නඩුවක් ගොනු කල හැකි ය. සිද්ධියට අදාළ කරුණු සලකා බලා නඩත්තු ඉල්ලුම්කරුට නඩත්තු මුදලක් ලබා දීමට අනුමත කරන්නේ ද සහ එසේ ලබා දෙන නඩත්තු මුදල කොපමණ ද යන්න මහේස්ත්රාත්වරයාගේ පූර්ණ අභිමතය මත තීරණය වේ.
වෛවාහක කලත්‍රයන් අතර නඩත්තු ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සම්බන්ධ ජනප්‍රිය මතය වන්නේ විවාහය බරපතල ලෙස බිඳ වැටීමෙන් හෝ දික්කසාදය සඳහා ඉල්ලුම් කිරීමෙන් තොරව ස්වාමි පුරුෂයා හෝ භාර්යාව වෙතින් නඩත්තු ඉල්ලා සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවයි. එම ජනප්‍රිය මතයට ප්රතිපක්ෂව හිඳිමින් ලියවෙන මෙම ලිපිය, විවාහය පවතින අතරතුර වුව ද නඩත්තු ඉල්ලා සිටීමට අවශ්‍ය ප්‍රතිපාදන අප නීතිය තුල අන්තර්ගතවන අන්දම පෙන්වා දෙයි. ආසියානු කලාපයේ දියුණු නීති පද්ධතියකින් හෙබි සිංගප්පූරුව සමඟ සැසඳීමේ දී පවා ස්ත්‍රී පුරුෂ සමාන භාවය තහවුරු කිරීම අතින් ශ්‍රී ලංකාවේ නඩත්තු නීතිය සිටින්නේ ඉදිරියෙනි. කෙසේ වුවත්, නඩත්තු වගකීම් නියම කිරීමේ දී අධිකරණය සැලකිල්ලට ගත යුතු කරුණු සම්බන්ධව සිංගප්පුරු නඩත්තු නීතිය ලබා දෙන පැහැදිලි මඟපෙන්වීම අප නීතිය සංවර්ධනය කිරීමට උපකාරී කර ගත හැකි ය.
නව නඩත්තු පනතේ ප්‍රතිපාධන දෙස හැරී බැලීමක්.
නව නඩත්තු පනත මෙතෙක් කල් ශ්‍රී ලාංකීය සමාජය තුල මුල් බැසගෙන පැවති: ‘පවුලක් නඩත්තු කිරීමේ වගකීම පියා / ස්වාමි පුරුෂයා හට පමණක් පැවරෙන්නේ ය’ යන සංකල්පයෙ හි නීතිමය වලංගුතාවය මුළුමනින් ම අහෝසි කරන ලදී. පනතේ 2(1) වගන්තිය අනුව තමාට තමාව නඩත්තු කර ගත නොහැකි කලත්‍රයෙකුට අනෙක් කලත්‍රයා වෙතින් නඩත්තු වීමේ අයිතිය පවතී. මෙහි දී ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධව කිසිඳු විශේෂ සඳහනක් නොකරන බැවින් භාර්යාවට සිය ස්වාමි පුරුෂයා වෙතින් පමණක් නොව ස්වාමි පුරුෂයාට සිය භාර්යාව වෙතින් ද නඩත්තු වීමේ අයිතිය නිශ්චිතව ම පිළිගෙන තිබේ. කිසියම් තැනැත්තෙකු අනෙක් කලත්‍රයා වෙතින් නඩත්තු මුදලක් ඉල්ලා සිටින්නේ නම් ඔහු හෝ ඇය ඒ සඳහා සපුරාලිය යුතු සුදුසුකම් දෙකක් පනත ප්රකාශිතව ම පෙන්වා දෙයි. ඒවා නම්:
- නඩත්තු ඉල්ලුම්කරු අනාචාරී ජීවිතයක් ගත නොකිරීම: හා
දෙපාර්ශවය ස්ව කැමැත්තෙන් වෙන් ව නොසිටීම. වේ.
නඩත්තු ඉල්ලුම්කරු අනාචාරී ජීවිතයක් ගත නොකිරීම
කිසියම් තැනැත්තෙකු අනාචාරී ජීවිතයක් ගත කරන අතරතුර සිය ස්වාමිපුරුෂයා හෝ භාර්යාව වෙතින් නඩත්තු ඉල්ලා සිටිය නොහැකි බව අතීතයේ සිට ම පිළිගත් මූලධර්මයකි. අනාචාරය යන්න විවාහයට බාහිර තුන්වන පාර්ශවයක් සමඟ ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම ලෙස අප නීතිය අර්ථ නිරූපණය කර තිබේ. ඒ අනුව, තම ස්වාමි පුරුෂයා හෝ භාර්යාව අනාචාරී ජීවිතයක් ගත කරන බවට චෝදනා කරන්නේ නම් චෝදනා කරන්නා එය පැහැදිලි සාක්ෂි මඟින් ඔප්පු කල යුතු බව සෙල්ලයියා එදිරිව සින්නම්මා (48 න.නී.වා 261) නඩුවේ දී අප ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ. එමෙන් ම, ආරුමුගම් එදිරිව අතායි ( 1948, 50 න.නී.වා 310) නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ විග්‍රහය අනුව කිසියම් තැනැත්තෙකු නඩත්තු ලැබීමට සුදුස්සෙක් නොවීමට නම් ඔහු හෝ ඇය දිගින් දිගටම අනාචාරී ජීවිතයක් ගත කරන බව අධිකරණය ඉදිරියේ තහවුරු විය යුතු ය. ඒ අනුව, කෙනෙකුගේ නඩත්තු හිමිකම් අහෝසි වීමට නම්, ඔහු හෝ ඇය දිගින් දිගටම අනාචාරී ජීවිතයක් ගත කරන බවත්, එය හුදෙකලා අනාචාරී සිදුවීමක් නොවන බවත්, අධිකරණය ඉදිරියේ තහවුරු වීම අනිවාර්ය වේ.
දෙපාර්ශවය ස්ව කැමැත්තෙන් වෙන් ව නොසිටීම.
විවාහයකට ඇතුලත් වූ එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයේ කැමැත්තෙන් තොරව විවාහක නිවස අත්හැර යාම දෙයාකාරයකට සිදු විය හැකි ය. එනම්:
- ද්වේශ සහගත අත්හැර යාම: සහ
- අනුමිත ද්වේශ සහගත අත්හැර යාම: වශයෙනි.
මින් පළමු අවස්ථාවේ දී වරදකාරී කලත්‍රයා විසින් තම තනි කැමැත්තෙන් ම විවාහක නිවස අතහැර යන අතර දෙවන අවස්ථාවේ දී සිදු වන්නේ අහිංසක කලත්‍රයාට විවාහක නිවසේ ජීවත් විය නොහැකි තත්වයක් නිර්මාණය කිරීමයි. මෙය තව දුරටත් පැහැදිලි කරමින් සිල්වා එදිරිව මිසි නෝනා (1924, 26 න. නී. වා 113) නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ අනෙක් කලත්‍රයාගේ කැමැත්තට පිටුපාමින් විවාහක යුතුකම් හා වගකීම් වලින් ඉවත් වීමෙන් ද්වේශ සහගත අතහැර යාම නිර්මාණයවන බවයි. මෙවන් අවස්ථාවක තම ඉදිරි ජීවිත කාලය ගෙවීම සඳහා නඩත්තු මුදලක් වරදකාරී කලත්‍රයාගෙන් ඉල්ලා සිටීමට අහිංසක කලත්‍රයාට හැකියාව පවතී. කෙසේ වුව ද, දෙදෙනෙකු වෙන් ව සිටින්නේ එකිනෙකා අතර ඇති කරගත් එකඟතාවයක ප්‍රතිඵලයක් මත නම් එක් අයෙකුට අනෙක් පාර්ශවයෙන් නඩත්තු මුදල් ඉල්ලා සිටිය නොහැක.
ඒ අනුව, විවාහයකට ඇතුලත් වූ පසු:
- තමා අනාචාරී ජීවිතයක් ගත නොකරන්නේ නම්: සහ,
- දෙදෙනාගේ කැමැත්තෙන් වෙන් ව නොසිටින්නේ නම්:
විවාහක පුද්ගලයෙකුට තම සහකරු හෝ සහකාරිය වෙතින් නඩත්තු ඉල්ලා සිටීමට ප්‍රතිපාධන පවතින බව පෙනී යන්නකි. එහි දී නඩත්තු ඉල්ලා සිටින පාර්ශවය නඩත්තු ඉල්ලීමට භාජනය වන පාර්ශවය සමඟ එකම නිවසක ජීවත්ව නොසිටිය යුතු බවට කොන්දේසියක් නීතියේ කිසිඳු තැනක සඳහන් නොවන බැවින් විවාහය පවතින අතරතුර ම තම ස්වාමි පුරුෂයා හෝ භාර්යාව වෙතින් නඩත්තු මුදලක් අධිකරණය හරහා ලබා ගැනීමට නීතිමය බාධාවක් නොමැති බව කිව හැකි ය.
නඩත්තු මුදල ගණනය කරන්නේ කොහොමද?
නඩුවේ සිද්ධිමය සාධක සලකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් වගඋත්තරකාර පාර්ශවය ගෙවිය යුතු නඩත්තු මුදල තීරණය කරන අතර, සුවිශේෂී හේතුවක් නොපවතින්නේ නම්, එම මුදල අධිකරණය විසින් නියම කරන දිනට ගෙවිය යුතු බව පනතේ 2(5) වගන්තියේ සඳහන් වේ.
එහි දී කිසියම් තැනැත්තෙකු නඩත්තු මුදල් ගෙවීම පැහැර හරින්නේ නම්, නොපමාව එය ගෙවන ලෙසට නියෝග කරමින් වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කරයි. එකී නියෝගය ද නොසලකා හරින්නේ නම් එසේ නොසලකා හරින සෑම අවස්ථාවක් සඳහා ම මාසයක කාලයක් දක්වා සිර දඬුවමකට වගඋත්තරකරු යටත් කල හැකි ය (5 වගන්තිය ). එසේ ම, වගඋත්තරකරු නඩත්තු මුදල් ගෙවීම අතපසු කරන බව අධිකරණයට ඒත්තු යන විට ඔහුගේ හෝ ඇයගේ වැටුපෙන් එම මුදල අඩු කර නඩත්තු අයදුම්කරු වෙත ගෙවන ලෙසට වගඋත්තරකරුගේ සේවා යෝජකට නියම කල හැකි ය (6වන වගන්තිය).
කෙසේ වුව ද, මෙම පනතෙහි අඩුපාඩුවක් පෙන්වා දීම මෙහි දී වැදගත් වේ. එනම්, නඩත්තු මුදලක් අනුමත කිරීමේ දී අධිකරණය සැලකිල්ලට ගත යුතු කරුණු පිලිබඳ මඟපෙන්වීමක් දක්වා නොතිබීමයි. එය නඩත්තු නඩුවක පැමිණිලිකරුට අධිකරණය ඉදිරියේ තහවුරු කල යුතු කරුණු මොනවාද යන්න ගැන නිසි අදහසක් ලබා ගැනීමට ඇති අවස්ථාව අවහිර කරන අතර ම, වගඋත්තරකරුට නඩුව අවසානයේ කොපමණ නඩත්තු මුදලක් ගෙවීමට සිදු වේ ද යන්න ගැන අදහසක් ලබා ගැනීමට ඇති ඉඩකඩ ද වලකාලයි.
සිංගප්පුරු නීතිය: අපට උගත හැකි පාඩම් පවතී ද?
සිංගප්පුරුව තුල විවාහක කලත්‍රයන් අතර එකිනෙකා නඩත්තු කිරීම සම්බන්ධ නීති තත්වය 1961 අංක 18 දරන කාන්තා ප්රඥප්තියෙන් (women’s charter) දක්වා තිබේ. මෙහි මූලික පනත මඟින් විවාහය තුල සිටිය දී මෙන් ම දික්කසාද වූ පසු සිය සැමියා වෙතින් නඩත්තු වීමේ අයිතිය භාර්යාව විෂයෙහි පමණක් ලබා දී තිබිණි. කෙසේ වුවද, ප්රඥප්තියට සංශෝධන සිදු කිරීමෙන් පසු, එහි 113 වගන්තිය ප්‍රකාරව සැමියාට ද සිය භාර්යාව වෙතින් නඩත්තු වීමේ අයිතිය පවතී. කෙසේ වුව ද, ස්වාමි පුරුෂයෙක් සිය භාර්යාව වෙතින් නඩත්තු ඉල්ලා සිටින්නේ නම් ඔහු කායික හෝ මානසික ආබාධයකින් පසුවන බව හෝ තමාට තමාව නඩත්තු කර ගැනීමට භෞතික නොහැකියාවක් පවතින බව විශේෂයෙන් ම තහවුරු කල යුතු ය. ඒ අනුව, සිංගප්පුරු නීතිය තුල භාර්යාව ස්වාමි පුරුෂයා වෙතින් නඩත්තු ඉල්ලා සිටීමේ දී අදාළ නොවන කොන්දේසි ගණනාවක් ස්වාමි පුරුෂයා භාර්යාව වෙතින් නඩත්තු ඉල්ලීමේ දී අදාළ කර තිබේ. එය පුරුෂ පාර්ශවය කෙරෙහි ලිංගිකත්වය මත පදනම් වූ වෙනස්කොට සැලකීමක් නිර්මාණය කරන්නකි. ඒ අනුව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යන දෘෂ්ටිකෝණයෙන් විමසා බැලීමේ දී පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ නඩත්තු නීතිය ස්වාමි පුරුෂයා සහ භාර්යාවට එකිනෙකා කෙරෙහි සමාන නඩත්තු වගකීම් පැවරෙන අයුරින් නිර්මාණය වී ඇති බවයි.
නඩත්තු මුදල් ගණනය කිරීම: සිංගප්පුරුව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන්.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සුරැකීම අතින් පියවරක් පසුපසින් සිටිය ද, නඩත්තු මුදල් ගණනය කිරීම අතින් සිංගප්පුරු නඩත්තු නීතිය සිටින්නේ අපට වඩා පියවරක් ඉදිරියෙනි. කාන්තා ප්රඥප්තියේ 114 වගන්තිය මඟින් නඩත්තු මුදලක් අනුමත කිරීමේ දී අධිකරණය සැලකියයුතු කරුණු සම්බන්ධ නිර්ණායක ඉදිරිපත් කර තිබේ. ඒ අනුව:
- විවාහක දෙපාර්ශවයට ආදායම් ඉපයීමට පැවති හා පවතින හැකියාව:
- ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට වෙන වෙනම සහ පොදුවේ අයත් දේපල:
- එක් එක් පාර්ශවයට අනාගතයේ දී පැවරිය හැකි මූල්‍යමය වගකීම් (උදාහරණ ලෙස දරුවන්ගේ වගකීම භාර්යාව වෙත පැවරෙන්නේ නම්, ඒ සඳහා ඇයට අමතර මුදලක් අවශ්‍ය වීම):
- විවාහ කාලය තුල පවුලේ ජීවන තත්වය:
- දෙපාර්ශවයේ වයස සහ විවාහ කාල සීමාව:
- එක් එක් පාර්ශවය පවුලේ නඩත්තුව සඳහා ලබා දී ඇති දායකත්වය: සහ
- විවාහය නිසා සිදු වූ අහිමි වීම්:
ආදිය ඊට ඇතුලත් වේ. ඒ අනුව,
නඩත්තු නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තුවන තැනැත්තෙකු අධිකරණය ඉදිරියේ තහවුරු කල යුතු කරුණු මොනවාද යන්න සහ එහි වගඋත්තරකාර පාර්ශවයට නඩුව අවසානයේ කොපමණ නඩත්තු මුදලක් ගෙවීමට සිදු වේ ද යන්න ගැන අදහසක් ලබා ගැනීමට පුළුල් අවකාශයක් සිංගප්පුරු නීතිය ලබා දී තිබේ.
එකිනෙකාගෙන් උගත හැකි පාඩම්.
වසර 1998 දී සම්පාධනය වූව ද ශ්‍රී ලංකාවේ නඩත්තු නීතිය සෑම අවස්ථාවක ම විවාහයක ස්වාමි පුරුෂයා හා භාර්යාවට සමාන නඩත්තු වගකීම් පවරා තිබේ. කෙසේ වුවද, අදටත් සිංගප්පුරු නීතිය ස්වාමි පුරුෂයෙකු හට භාර්යාව වෙතින් නඩත්තු ඉල්ලා සිටීමට සුවිශේෂී බාධාවන් නිර්මාණය කර තිබේ. ඒ අනුව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ශ්‍රී ලාංකීය නඩත්තු නීතිය සිංගප්පුරුවට සාපේක්ෂව ප්රගතිශීලී ස්ථානයක පසුවන බව දක්නට ලැබෙන්නකි. කෙසේ වුවද, නඩත්තු මුදල් ගණනය කිරීමේ දී ශ්‍රී ලාංකීය නඩත්තු නීතිය අධිකරණයේ පූර්ණ අභිමතයට මුල් තැන දී ඇති අතර, සිංගප්පුරු නීතිය පියවරක් ඉදිරියට එමින් නඩත්තු මුදලක් අනුමත කිරීමේ දී අධිකරණය සලකා බැලිය යුතු කරුණු සම්බන්ධව පැහැදිලි නිර්ණායක ඉදිරිපත් කර තිබේ. මෙය නඩත්තු නඩුවේ පාර්ශව කරුවන්ට සිය වගකීම් සහ ප්රතිලාභ පිලිබඳ අදහසක් ලබා ගැනීමට මහත් සේ උපකාර වන්නකි. ඒ අනුව, අවසාන වශයෙන් පෙනී යන්නේ නඩත්තු නීතිය විෂයෙහි ලා ශ්‍රී ලංකාවට සිංගප්පුරුවෙන් මෙන් ම සිංගප්පුරුවට ශ්‍රී ලංකාවෙන් ද ඉගෙන ගැනීමට පාඩම් ඇති බවයි.